Skip to main content

ගොන්ගල හෙවත් සබරගමුව කදු පන්තියේ උසම ශිඛරය තරණය කරමු

 



ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන කදු පන්ති කලාප තුනක් හදුනාගත හැකිය. එනම් එම කලාප තුන මෙසේ වර්ග කර දැක්විය හැකිය.

  • මධ්‍යම කදුකරය
  • නක්ල්ස් කදුකර කලාපය
  • සබරගමුව කදු පන්තිය

මෙම කදුකර කලාප අතර මධ්‍යම කදුකරයේ මෙන්ම මුලු ලංකාවේම උසම කන්ද වන්නේ මීටර 2524ක් උස පිදුරුතලාගල කදු මුදුනයි. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක අතර වැටී තිබෙන නක්ල්ස් කදුකර කලාපය තුළ උසම ශිඛරය වන්නේ මීටර 1906ක් වන ගොම්බානිය කදු මුදුනයි. එසේම සබරගමුව කදුකර කලාපයේ උසම කදු මුදුන වන්නේ අද අප කතා කරනු ලබන ගොන්ගල කදු මුදුනයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1358කි. මෙම කදු මුදුන පිහිටි සබරගමුව කදුකර කලාපය බුලුතොට රක්වාන කදු ලෙසද හැදින්වේ.

ගොන්ගල කදු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙනියාය නගරයට ආසන්නයේය. එමගින් සබරගමුව පළාත හා දකුණු පලාත මායිම් වීමද සිදුවේ. මෙම කදු මුදුන ඔබට දෙනියාය රක්වාන මාර්ගයේ ගමන් කිරීමේදී නිසැකවම දැකිය හැකිවේ. මෙම කදුකර කලාපයේ එක් කොටසක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව පවතී. එසේම ගිං ගග පෝෂණය කරන ප්‍රධාන ගංගා දෙකක් මෙම කදුකර කලාපයෙන් ආරම්භ වේ.

ගොන්ගල යන ලැබීමට හේතුවී ඇත්තේ මෙම කදු මුදුනේ ගොනෙකුගේ හිස ආකාර ගල් පර්වතයක් පිහිටීමත් එකල මෙම ප්‍රදේශය ගෝනුන්ගේ රාජධානියක් වීම නිසාත් යැයි කියැවේ. ඔබ කොළඹ සිට මෙම කදු මුදුන තරණයට පැමිණෙන්නේ නම් මාර්ගය මෙසේය.

පැල්මඩුල්ල – මාදම්පේ – රක්වාන – සූරියකන්ද – බොරලුවගේඉන්න – Hayes Estate හරහා ගොන්ගල

එසේ නොමැතිනම් මාතර හරහා දෙනියායට පැමිණද මෙම කලාපයට සේන්දු විය හැකිය.

මෙහිදී ඔබට Hayes තේ කර්මාන්ත ශාලාව දක්වා වාහනයකින් ගමන් කළ හැකිවේ. එතැන් සිට ගමන සිදුකළ යුත්තේ පාගමනිනි. තේ වතු අතරින් ගමන් කරන මාර්ගයේ දිගටම ගමන් කළ විට කදු මුදුනට සේන්දු වන අතර එහිදී රූපවාහිනී කුලුණු හා නාවික හමුදා කදවුරක් හමුවේ. ගොන්ගල දක්වා ගමන් කිරීමට නම් ඔබ එම නාවික හමුදා කදවුර දැනුවත් කර ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්‍ය වේ. ඉන්පසුව වනාන්තර මගක ගමන් කිරීම තුළින් ගොන්ගල කදු මුදුනේ උසම තැනට ලගා විය හැකිය. එම යන මග අතරමං වීමට ඉඩ තිබෙන බැවින් මාර්ගය දන්නා කෙනෙකු සමග ගමන් කරන්නේ නම් උචිතය.

උසම ස්ථානයේ තිබෙන ගල් තලාව වෙත ප්‍රවිශ්ඨ වූ විට ඔබට දකුණු පළාතේ හා සබරගමුව පළාතේ විශාල ප්‍රදේශයක් මෙහි සිට නිරීක්ෂණය කළ හැකිවේ. එසේම මෙම කදු මුදුන වෙත යන ගමනේදී කුඩා ජල පහරවල් හමුවන නිසා ඒවායෙන් ජලය සපයා ගැනීමද කළ හැකිවේ. මෙහි අත්හරින ලද එනසාල් වගාවක්ද දැකිය හැකිය. ශීත මිහිදුමෙන් බොහෝ විට වැසෙන මෙම කදු මුදුනේ ඇත්තේ ඉතාම සෞම්‍ය කාලගුණයකි.

මෙම කදුමුදුනට පෙනෙන ප්‍රදේශ අතර රක්වාන කදු, කලවාන දෙසට ඇති කදු, සිංහරාජ වනාන්තර කලාපය, උඩවලව ජලාශය, දෙනියාය, කෑල්ල හා බලංගොඩ කැපී පෙනේ. කදු තරණයට හා දිගු දුර ඇවිදීමට කැමති සංචාරකයිනට මෙම ගොන්ගල යනු කදිම ස්ථානයකි. එසේම දෙනියාය අවට සංචාරය කරන්නට ඔබ අදහස් කරන්නේ නම් මෙහිද පැමිණ යාමට අමතක නොකරන්න. එසේම මෙහි ගමන් කරන ඔබ පොලිතින් හ ප්ලාස්ටික් දමා සිංහරාජයට මායිම්වන මෙම පරිසර කලාපය විනාශ නොකිරීමටද අදිටන් කරගන්න.

(Gongala Image Credit: Rajitha Bandara)

Comments