Skip to main content

ගැරඩි ඇල්ල බලන්න කලුගල ගැරඩිගල ගමට යමු


 

ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ කුමන ගැරඩි ඇල්ල ද යන්න පැටලීම ස්වභාවිකය. කෙසේවූවද අද අප පවසන්නට යන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල පිහිටි ගැරඩි ඇල්ල පිළිබදවයි. සුප්‍රකට කොත්මලේ ප්‍රදේශයේ ද මේ නමින් හැදින්වෙන දිය ඇල්ලක් ඇති මුත් එහි නිවැරදි නාමය වන්නේ ‘ගැරඩිගිනි ඇල්ල’ යි.

අප අද මේ කතා කරන සොදුරු දිය ඇල්ල නැරඹීමට පැමිණෙන්නේ නම් පලමුව මහනුවර හෝ මහියංගණය නගර වලට පැමිණ එහි සිට උඩදුම්බර නගරයට පැමිණිය යුතුය. එතැන් සිට ඔබ ගමන් කළ යුත්තේ කලුගල මාර්ගයේ ගැරඩිගල නම්වූ ගමටය. කොටස් කීපයකට කඩා හැලෙන දිය ඇලි දාමයකින් යුතු මේ දිය ඇල්ල මහනුවර මහියංගණ A26 මාර්ගයේ මාර්ගයේ දහඅට වංගු වලට කලින් ඈතින් දැකිය හැකිවේ.

ගැරඩි ඇල්ල පිහිටා ඇත්තේ කලුගල ගෙදරමඩ ග්‍රාම නිළධාරී වසමේය. මෙම ගෙදරමඩ ග්‍රාමයට දිය ඇල්ලේ ලස්සන දර්ශනයක් දැකිය  හැකිය. උඩදුම්බර නගරයේ සිට මෙහි දුර කිලෝමීටර 15ක් පමණය. මෙම ගමනේදී ඔබට ලංකාවේ තවත් අමුතුම දිය ඇල්ලක් වන තලගුණේ ඇල්ලේවෙල ඇල්ලද දර්ශණය වේ. කලුගල 5 කණුව බැස ගම් වාසීන්ගෙන් විමසූ විට දිය ඇල්ලට යන මාර්ගය ඔබට අසා දැනගත හැකිය. ගම්වාසීන් සමග ගණුදෙනු කිරීමේදී හැකි තරම් නිහතමානී වන්න. මන්ද ඔබ පැමිණ දිය ඇල්ලේ සුන්දරත්වය වනසා දමාවි යන බය ඔවුන් සතුවීම ඊට හේතුවයි. ඇල්ලට පිවිසෙන මග ඇත්තේ එක්තරා ගොවි මහතෙකුගේ වත්තක් හරහා බැවින් එතුමා දැනුවත් කර ඔහුගේ මග පෙන්වීම අනුව ගමන් කිරීමට ඔබට සිදුවේ. මෙහිදී ඔබ ගමන් කරන රථ වාහන ආදියද ගාල් කිරීමටද ඔහු විසින් පහසුකම් සලසා දෙයි.

එකිනෙකට වෙනස් දිය ඇලි දාමයක් මෙලෙස ගැරඩි ඇල්ල යන නමින් හැදින්වෙයි. මෙහි ප්‍රධාන දිය ඇලි 3ක් ඇතුලුව තවත් කුඩා දිය ඇලි 4ක් සහිතව සම්පූර්ණ දිය ඇලි 7ක් ඇති බව අප අධ්‍යනය කළ මූලාශ්‍ර සදහන් කරයි. මෙම දිය ඇලි දාමයේම උස ගත් කළ එය ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලට වඩා වැඩි බව අපට සොයාගත හැකිවිය. එහි උස තවද ගණනය කර නොමැති අතර තවත් මූලාශ්‍ර සදහන් කරන්නෙ එහි උස මීටර 200 -240 ත් අතර බවයි. කෙසේවූවද තනි දිය ඇලි ලෙස සැලකුවහොත් ඒ එක් එක් දිය ඇලි වල උස මීටර 100 ට වඩා අඩුය.

දිය ඇලි දාමයේ එකිනෙක දිය ඇලි වලට වෙන වෙනම ගමන් කළ හැකි අතර එම ගමන තරමක් අසීරු ක්‍රියාදාම චාරිකාවකි. සමහර තැන් කඹ ඇසුරින්ද ගමන් කළ යුතුවේ. කෙසේවුවද අත්දැකීම් සහිත කදු නගින්නන්ට නම් මෙය එතරම් අපහසු ගමනක් නොවේ. මානා අතරින් ඇදෙන අඩි පාර ඇලි දාමයේ ඉහලම ඇල්ල සහිත මුදුනේ තිබෙන තැනිතලා ප්‍රදේශයට ඔබව රැගෙන යයි. දිය ඇලි සියල්ලම අසලට ගමන් කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. එහිදී දිය ඇල්ලේ අසිරිය නරඹමින් ඡායාරූප ගැනීම කළ හැකිය. ඇලි එකක් අසලවත් හොදින් දිය නා ගැනීමට තැනක් නොමැත. දිය ඇලි දාමයේ ඉහළ කුඩා තටාකයේ දිය නෑමට යම්කිසි ඉඩක් සහිතය.

ගැරඩි ඇලි දාමයේ දිය ඇලි සියල්ලම ඉතාම රමනීයය. මේ දිය ඇලි දාමය නැරඹීමට ඉතාම සුදුසු කාලය වන්නේ පෙබරවාරි අවසානය හා මාර්තු මාසයයි. ඊට හේතුව වන්නේ මෝසම් වර්ෂා කාලයට පසුව ඇල්ල ජලයෙන් පිරී පවතින නිසාය. මැයි – ජුලි මාසවල ජලය අඩු අතර ඒ කාලයට මෙහි දැඩි සුළං ද පවතී. එසේම වර්ෂා කාලයේ ඇල්ල නැගීම ඉතාම අසීරුය. තවද කූඩැල්ලන්ගෙන්ද දැඩි ප්‍රහාර එකී කාලයට එල්ල වේ.

ගැරඩිගල කන්ද මුදුනට ගිය විට පෙනෙන අවට දර්ශනයද ඉතාම චමත්කාර ජනකය. මෙහි සිට කලුගල කෙත්වතු ඇතුලු විශාල කලාපයක් දැකිය හැකිවේ. නක්ල්ස් ශිඛර කීපයක්ම මෙහි සිටද දැකිය හැකිය. එම කදු අතර දුම්බානගල, බළල්ගිර, කෙහෙල්පත්දොරුවේගල හා යහන්ගල කැපී පෙනේ. මෙම කලුගල පිහිටි තවත් සංචාරක ඉසව්වක් වන්නේ වෙලන්ගොල්ල පතන තුළ පිහිටි සොදුරු යහන්ගල කදු මුදුනයි.

ගැරඩි ඇල්ල ඇතුලත් ගැරඩිගල මුදුන Camping කරමින් විනෝද වීමටද ඉතාම උච්ත ස්ථානයකි. තවද මෙය Hiking එකක් ලෙසටත් සැලකීමට හැකිය. මෙහිදී ඔබට දිය ඇලි නරඹින් අමුතුම ආකාරයේ වින්දනයක් ලබා ගැනීමට හැකි වන්නේ ලංකාවේ කිසිම තැනකදී මෙවන් අපූරු ස්ථානයක් සොයාගත නොහැකි නිසාය.

Comments