Skip to main content

ලංකාවේ තුන්වන උසම කන්ද වන තොටුපොල කන්ද තරණය කරමු



 

තොටුපොල කන්ද යනු ශ්‍රී ලංකාවේ උසම කදු ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනු ලබන්නා වූ කදු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2357ක් හෙවත් අඩි 7733කි. මෙය පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වූ වැදගත් පරිසර පද්ධතියක් වන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළයි.

තොටුපොල කන්දට එම නම වැටී ඇත්තේ රාවණා රජතුමාගේ දඩු මොණරය මේ අසල නවතා තැබූ නිසා යැයි ජනප්‍රවාදයේ සදහන් වේ. දඩු මොණරය නවතා තැබූ තොටුපොල යන්න නම ඇතිව එයට මේ නම ලැබී තිබේ. මෙම කදු මුදුන හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට යන ඕනෑම සංචාරකයෙකුට පහසුවෙන් සොයා ගත හැකි එකකි. එය පිහිටා ඇත්තේ හෝර්ටන්තැන්න සිට පට්ටිපොල දෙසට වන්නටයි. එබැවින් මෙම කන්ද තරණයට පැමිණෙන්නේ නම් පහසුම මග වන්නේ පට්ටිපොල දුම්රිය ස්ථානයට පැමිණ හෝර්ටන්තැන්නට පැමිණෙන මාර්ගයයි. එම මග පැමිණ ඉදිරියට ගමන් කළ විට තොටුපොල කන්ද දැක්වෙන නාම පුවරුව දැකිය හැකි අතර එතැන් සිට ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් කන්ද මුදුනට ඔබට ගමන් කළ හැකිවේ.

කන්ද මුදුනටම යාමට පිවිසුමේ සිට පැය 2ක් පමණ ගතවන අතර එය එතරම් අපහසු කදු තරණයක් නොවන්නේ මග සලකුණු දැනටමත් එහි තිබෙන නිසාවෙනි. කෙසේවුවද මෙහි කූඩැල්ලන්ගෙන් ඇති තර්ජනය තරමක් අඩු බවක් දැකිය හැකිවේ. එය සංචාරකයිනට නම් තරමක් අස්වැසිල්ලක් වන කරුණකි. නමුත් සංචාරක ඔබ මෙහිදී අවට වනයේ ඇති දිවියන්, ගෝනුන්, වල් ඌරන් හා අනෙකුත් සතුන්ගෙන් පරිස්සම් වීමට වග බලා ගත යුතුය.

කන්ද මුදුනේ කුලුනක් දැකිය හැකි අතර උසම ස්ථානයේ සිට බැලූ විට හෝර්ටන්තැන්නපිදුරුතලාගල හා ඒ අවට කදු, නමුණුකුල, සමනල කන්ද, කිරිගලපොත්ත යන කදු මෙන්ම හපුතලේ නගරයද පහසුවෙන් දැකිය හැකිවේ. නිතර මීදුමෙන් වැසී යන නිසා මෙම කන්ද තරණය කරන ඔබ එයට මුදුණ දීමට සැරසී කන්ද තරණය කළ යුතුවේ.

මෙම කන්ද තරණය කරන්නට පැමිණෙන ඔබ හෝර්ටන්තැන්න පිවිසුමෙන් අවසර ගැනීම උචිත වන අතර එහි ගොස් කැලි කසල දැමීම, ශාක වලට හානි කිරීම හා වන සතුන්ට හානි කිරීම දැඩි දඩුවම් ලැබෙන කටයුතු බව තරයේ මතකයේ තබා ගැනීම අනිවාර්‍ය වේ. එසේනම් කෙදිනක හෝ හෝර්ටන්තැන්නට යන ඔබ මෙම කදු මුදුන වෙත යාමටද අමතක නොකරන්න.


Comments